Sunday, June 21, 2015

Motorcycle Carburetor Tuning.......

අපේ බයික් පදින අයට වැදගත් වෙයි කියල හිතන දෙයක් ගැන තමයි මේ ලිපිය. single cylinder Motorcycle වලට තමයි මේ ක්‍රමය ගොඩක්ම අදාල වෙන්නෙ.





අපේ යාලුවන්ගෙ බයික් වලත් මේ වගේ ප්‍රශ්න තියෙනවද???

  • ඉන්ධන පිරිමැස්ම අඩුවීම.
  • ඉහළ rpm (මිනිත්තුවට වට) අගයයන් වලට engine එක රේස් කරන විට කළු දුම දැමීම.
  • උදේට start කිරීම අපහසු වීම.
  • pickup කරන කොට engine එක මිස් කරන ගතියක් තිබීම.
  • pickup එක අඩු වීම.
  • දුම් පරීක්ෂණය ෆේල් වීම.
  • Engine එක overheat වීම.

බොහෝවිට carburetor එක tune කිරීමෙන් මේ වගේ ගැටළු විසඳා ගන්න පුළුවන්.

 

මුලින්ම මේ දේත් කියන්න ඕනේ. ඔය මුලින් කියපු එකම අවුලක්වත් බයික් එකේ නැත්තම් මේ වැඩේ අත්හදා බලන්න යන්න එපා. ඒ කියන්නෙ carburetor එකට අතවත් තියන්න යන්න එපා. service එකේදිත් අනිවා කියන්න,carburetor එකේ කිසිම වෙනසක් කරන්න එපා කියලා. අගේට tune වෙලා තියෙන carburetor එකේ ඇණ කරකවලා කෙලවගෙන මට කුණු හබ්බෙන් බනින්න ලෑස්ති වෙන්න එපා ඕං.
 
carburetor එකකින් කරන්නෙ සිලින්ඩරය තුල දහනයට ඉන්ධන-වායු මිශ්‍රණයක් හදන එකයි. ඒ කියන්නෙ carburetor එක ඇතුලෙදි වෙන්නෙ ඉන්ධන වාතය සමඟ මිශ්‍ර කරන එක. ඒ නිසා කස්ටියට තේරෙනවා ඇති එන්ජිමේ නිවැරදි ක්‍රියාකාරිත්වය සඳහා carburetor එකේ නිවැරදි ක්‍රියාකාරිත්වය කොච්චර වැදගත් ද කියලා.
 
carburetor tune කරන්න කලින් carburetor එකේ settings වෙනස් කරන screws අදුර ගන්න ඕනේ. සාමාන්‍යයෙන් single cylinder motorcycle වල එන carburetor එකක settings වෙනස් කරන්න පුලුවන් screws එන්නෙ දෙකයි. එකක් තමයි idle adjust screw එක, අනෙක තමයි mixture screw එක. idle adjust screw එකෙන් කරන්නෙ එන්ජිම නෝමල් රන් වෙන වේගය (accelerator එක අත ඇරලා තියෙනකොට එන්ජිම රන් වෙන වේගය) වෙනස් කරන එක. තමන්ට අවශ්‍ය ගානට ඒක තියාගන්න පුළුවන්. ඒ ඇරෙන්න එන්ජිමේ ඉන්ධන පිරිමැස්මේ වෙනසක්, pickup එකේ වෙනසක්, මේ ඇණය කැරකුවාම වෙන්නෙ නෑ. එතකොට mixture screw තමයි සිලින්ඩරයට යන fuel-air mixture එක ගැන වග කියන්නේ. මේ ඇණ දෙක ලේසියෙන්ම හොයා ගන්න පුළුවන්.
 

මේ ඇණ දෙකම සාමාන්‍යයෙන් රන් පාටයි. carburetor එකට පිටින් සම්බන්ධ වෙලා තියෙන්නේ. සම්පූර්ණයෙන්ම ගලවලා අතට ගන්නත් පුළුවන්(ගලවන්න යන්න එපා). screw දෙක carburetor එකෙන් එකම පැත්තේ හෝ දෙපැත්තේ උනත් තියෙන්න පුළුවන්. පහත රූපයේ තියෙන carburetor එකේ screws දෙක තියෙන්නෙ දෙපැත්තෙ,                   


සමහර carburetor වල idle screw එක, අතින් ලේසියෙන්ම කරකවන්න පුළුවන් විදිහට එන්නේ. හැබැයි සමහර ඒවට නම් flat screw driver එකක් ඕනේ වෙනවා. පහල රූප බලන්න   






ඒ වගේම බොහෝ carburetor වල mixture screw එක carburetor එකට හයි වෙලා තියෙන්නෙ ඇදේට(උඩ රූප බලන්න). ඒ වගේම mixture screw එක පිහිටලා තියෙන්නෙ carburetor එකේ කෙලවරකට වෙන්න(මැද නෙමේ). සමාන්‍යයෙන් idle screw එක තියෙන්නෙ accelerator cable එක හයි වෙලා තියෙන තැනත් එක්ක සිරස්ව පහළින්. ඒත් සමහර carburetor වල idle screw එක කෙලින්ම carburetor එකට සම්බන්ද නොවී පල්ලෙහා රූපෙ විදිහටත් හයි වෙලා තියෙන්න පුළුවන්.          



මේ විස්තර අනුව මේ screw දෙක හොයාගන්න පුලුවන් වේවි කියල හිතනවා.
 

mixture screw වර්ග දෙකක් තියෙනවා, air screw සහ fuel screw කියලා. carburetor එකේ තියෙන්නෙ air screw එකක්ද fuel screw එකක්ද කියල හරියටම දැනගන්න වෙනවා(බොහෝ වෙලාවට air screw එන්නෙ 2 stroke engine වල carburetor වල) . ඒක ලේසියි. screw එක carburetor එකයි engine එකයි මැද්දට වෙන්න තියෙනවා නම් ඒක fuel screw එකක්. screw එක air cleaner එක පැත්තට වෙන්න පිහිටල තියෙනවා නම් ඒ කියන්නෙ engine-carburetor-mixture screw විදිහට තියෙනවා නම් ඒක air screw එකක්.(පහත රූප දෙක බලන්න)  






 දැන් මේ air screw සහ fuel screw දෙකේ වෙනස පැහැදිලි කරගන්න කලින් lean mixture සහ rich mixture කියන දෙක ගැනත් දැනගමු. carburetor එක හරහා engine එක තුලට ඇතුළු වන ඉන්ධන-වායු මිශ්‍රනයේ ඉන්ධන ප්‍රතිශතය ප්‍රශස්ත මට්ටමට වඩා වැඩිනම්, ඒ කියන්න petrol ගොඩක් මිශ්‍ර වෙලා තියෙනව නම් ඒක rich mixture එකක්. ඒකෙම අනික් පැත්ත එනම් petrol ප්‍රතිශතය අඩු නම් ඒක lean mixture එකක්.දැන් air screw සහ fuel screw දෙකේ වෙනස ගැන බලමු. මුලින් කිව්ව වගේ මේ screw දෙකෙන්ම කරන්නේ ඉන්ධන-වායු අනුපාතය වෙනස් කරන එක. fuel screw එකක් දක්ෂිණාවර්තව(clockwise) කරකැවීමෙන් mixture එක lean වෙනවා. වාමාවර්තව කරකැවීමෙන් mixture එක rich වෙනවා.(ආයේ ඕක කියන්න දෙයක්ද නෙහ්). ඊට විරුද්ධ විදිහට තමයි air screw එකක් ක්‍රියාකරන්නේ. ඒ කියන්නෙ air screw එකක් දක්ෂිණාවර්තව(clockwise) කරකැව්වොත් mixture එක rich වෙනවා. කස්ටියට දැන් වැඩේ පැහැදිලි ඇති. කොහොමත් මේ air screw, fuel screw ගැන වදවෙන්න ඕනේ වෙන්නෙ නෑ, හේතුව තමයි බොහෝ carburetor වල(විශේෂයෙන් ඉන්දියන් motorcycle වල) එන්නෙ fuel screw එකක්. අහ් අමතක වුනා idle screw එක ගැන කියන්න බැරිවුනානේ, idle screw එක clockwise කැරකුවොත් එන්ජිම රේස් වෙනවා, anticlockwise කැරකුවොත් ....... (කියන්න දෙයක් නෑනේ). හරි මුලින් කියන්න ඕනේ දේවල් ඔක්කොම හරි. දැන් ඉතින් flat screw driver එකක් අරන් වැඩේට බහින්නයි තියෙන්නේ.
 

මුලින්ම carburetor එකේ දැනට තියෙන settings ලියාගන්න ඕනේ. ඒක පසුවට ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. flat screw driver එක අරන් mixture screw එක clockwise කරකවන්න(engine එක නවත්තල තියෙන්න ඕනේ). කරකවන වට ගාන හරියටම ගනන් කරන්න. අවසානයේදී screw එක තද වෙනකොටම කරකවන එක නවත්තන්න(ගොඩක් හිර වෙනකන් කරවන්න එපා). දැන් කරකවපු වට ගාන හරියටම කොළේක ලියා ගන්න(උදා - වට 2යි 1/4 යි). දැන් ඒ ලියා ගත්ත වට ගණන anticlockwise කරකවලා ආපහු තිබුන විදිහටම හදා ගන්න. ඒ විදිහටම idle screw එකත් කරකවලා වට ගාන ලියාගෙන ආපහු තිබුන විදිහටම හදා ගන්න. මෙහෙම කරන්නෙ carburetor එක ටියුන් කොරන්න ගිහිල්ල තියෙන ටියුන් එකත් නැතිකරගත්තොත්(හරියට කරොත් එහෙම වෙන්නෙ නෑ) ආපහු තිබුන විදිහටම carburetor එක හදාගන්න ඕනෙ නිසයි.
 
carburetor tune කරන්න කලින් engine එක ක්‍රියාකාරී උෂ්ණත්වයට රත් වෙලා තියෙන්න ඕනේ. ඒකට විනාඩි 15 ක් විතර කොහෙ හරි වටයක් ගහලා එන්නයි තියෙන්නේ. ඊට පස්සෙ බාහිර ශබ්ද අඩු ඒ වගේම හොඳට සුළං හමන, වාතාශ්‍රය තියෙන, සමතලා ස්ථානයක බයික් එක center stand එක ගහලා නවත්තන්න. දැන් එන්ජිම start කරලා idle screw එක ටිකක් clockwise කරකවලා එන්ජිම ටිකක් රේස් වෙලා තියෙන විදිහට හදාගන්න(ගොඩක් රේස් වෙන විදිහට හදන්න එපා, 40 kmph වේගෙන් යද්දි රේස් වෙලා තියෙන ගාන ඇති). tachometer එකක් තියෙනවා නම් 3000rpm ට විතර රේස් වෙන්න හදාගන්න. දැන් mixture එක lean කරන්න ඕනේ, ඒකට fuel screw එක හිමීට clockwise කරකවන්න. එන්ජිමේ වේගය ටික ටික අඩුවෙනවා වගේ දැනේවි, දිගටම කරකවන්න. එන්ජිම නතර නොවෙන විදිහට කරකවන්න පුළුවන් උපරිමේටම කරකවන්න. සමහර විට screw එක තද වෙන්න කරකවන්න පුළුවන් වේවි(screw එක හිරකරන්න එපා) , සමහර විට බැරිවේවි(ඊට වඩා කැරකුවොත් එන්ජිම නවතින නිසා). අනිවාර්යයෙන්ම එන්ජිම නතර නොවෙන්න වග බලා ගන්න. එන්ජිම නතර වුනොත් ආපුහු මුල ඉඳන් වැඩේ පටන් ගන්න. ඒ කියන්න ඇණ දෙක මුලින් තිබුනු තැනටම කරකවලා එන්ජිම ස්ටාට් කරලා වැඩේ මුල සිට පටන්ගන්න.
 

දැන් එන්ජිම අමාරුවෙන් අමාරුවෙන් දුවනවා වගේ පෙනේවි. ඒකට හේතුව තමයි දැන් lean කරන්න පුළුවන් උපරිමේටම mixture එක lean කරල තිබීම. ඊළඟට fuel screw එක, mixture එක rich වෙන දිශාවට(anticlockwise) කරකවන්න පටන් ගන්න. හිමීට කරකවන්න. කරකවද්දි වට 1/8 න් 1/8 කරකවන්න, එක කොටසක් කරකවල තත්පර කීපයක් බලන් ඉන්න, එතකොට තමයි එන්ජිමේ වේගයේ වෙනසක් නිරීක්ෂණය කරන්න පුළුවන්. ටික ටික එන්ජිම රේස් වෙනවා වගේ දැනේවි. තවදුරටත් කරකවද්දි එන්ජිම එක් උපරිමේකට රේස් වෙලා එක් තැනකදි ආපහු slow වෙන්න පටන් ගන්නව වගේ දැනේවි. මෙන්න මේ point එක හරියටම අදුරගන්න ඕනේ. එතනින් එහාට ඇණේ කැරකුවොත් වෙන්නෙ mixture එක rich වෙන එක. ඒ නිසා එතනින් එහාට කරකවන එක නවත්තලා ආපස්සට, ඒ කියන්නෙ lean වෙන දිශාවට(clockwise) කරකවලා අර උපරිම වේගෙන් එන්ජින් එක කරකැවෙන, mixture එක lean වීමට හා rich වීමට පටන් ගන්න ස්ථාන දෙක අතර මැද්දට වෙන්න ඇණේ හදාගන්න.මතක තියාගන්න උපරිම වේගෙන් එන්ජින් එක run වෙන තැනේදි තමයි ඇණේ කරකවන එක නතර කරන්න ඕනේ.පහල රූපය බැලුවොත් වැඩේ පැහැදිලි කරගන්න පුළුවන් වේවි.    




( fuel screw එක තද වෙනකන් කරකවලා, එතැන් සිට වාමාවර්තව(anticlockwise) සම්පූර්ණ වට 2ක් 3ක් කරකවද්දි තමයි සාමාන්‍යයෙන් optimal mixture එකට tune වෙන්නේ, carb එකෙන් carb එකට ඒක වෙනස් වෙනවා, සමහර විට ඊට වඩා අඩු වට ගානකදි tune වෙන්නත් පුළුවන්, මං මේක කිව්වෙ වැඩේ ලේසි වෙන්න)

 
දැන් එන්ජිම එකම ආකාරයකට දුවනවා වගේ දැනේවි. ඒ කියන්නෙ හරියටම tune වෙලා තියෙන්නේ. ඊළඟට idle screw එක anticlockwise කරකවලා සාමාන්‍යයෙන් එන්ජිම run වෙන වේගෙට හදාගන්න. fuel screw එකට අතවත් තියන්න එපා.
 

වැඩේ අහවරයි. දැන් එන්ජිම නවත්තලා, accelerator අල්ලන්නෙ නැතුව kick pedal එක ගහලා එකපාරින්ම engine එක start කරන්න පුළුවන් වෙන්න ඕනේ. සමහරවිට ටිකක් පරණ බයික් එකක් නම් මෙහෙම එකපාරම start වෙන්නෙ නැතිවෙයි.(carburetor හොඳට tune වෙලා තිබුනත්). බයික් එක ටිකක් පැදලා බලන්න. මිස් කරන්නෙ නැතුව හොදට pickup වෙනව නම්, රේස් වෙද්දි කළු දුම දාන්නෙ නැත්තම් වැඩේ ගොඩ දාල වගේ.
 

අහ් තව එක දෙයක් කියන්න ඕනේ, petrol වැඩකරන්න කියල mixture එක lean කරල දුවන්න නම් එපා මචන්ලා. engine එක ඉවරයි. එන්ජිම overheat වෙන නිසා head gasket එකට කෙලවෙන්න පුළුවන්. තව valve වලට crankshaft, Connecting rod වලට කෙලවෙන්නත් පුළුවන්.
 

------------------------------------------------------------------------------------------------------------------
මෙම ලිපිය ගැන ඔබගේ අදහස් ගොඩක් වටිනවා........


Sunday, December 14, 2014

COMMON RAIL DIRECT FUEL INJECTION SYSTEMS.........

ඔයගොල්ලො සමහරු දැකල ඇති, Toyota Hilux කැබ් වල ඉස්සරහ දොරේ D-4D, Mitsubishi කැබ් වල DI-D, අලුතෙන් එන Tata කැබ් වල DICOR, Mahindra බට්ට ලොරියේ CRDe, කියල ගහල තියෙනවා. මේ කියල තියෙන්නෙ Common rail direct injection කියන අලුත් තාක්ශනය ගැනයි. අදාල සමාගම් තම තමන්ගෙ වෙළඳ නාමයන් පාවිච්චි කරනවා.


මේ තාක්ෂණය Diesel හා Petrol එන්ජින් දෙවර්ගයටම යොදාගන්න පුලුවන්. නමුත් වැඩි වශයෙන් යොදාගන්නෙ Diesel engine වලට. Petrol engine වලට වඩා Diesel engine වලට මේ තාක්ශනය වඩාත් ගැලපෙන එක තමයි ඒකට හේතුව.

 දන්නෙ නැති අයට දැනගන්න ඩීසල් එන්ජින් ගැනත් කෙටි හැදින්වීමක් කරන්නම්කෝ,

ඩීසල් කියන ඉන්ධනය, පෙට්ට්‍රල් වගේ spark plug එකකින් අවුලවන්න බෑ. ඒකට හේතුව තමයි ඩීසල් වල ජ්වලන උෂ්ණත්වය ඉහල අගයක පැවතීම. ඒ නිසා ඩීසල් එන්ජිමක ඩීසල් දහනය කරන්නෙ සම්පීඩන ජ්වලන ක්‍රමයකින්(compression ignition method). ඒකෙදි වෙන්නෙ සිලින්ඩරය තුල තියෙන වායු පරිමාවක් කෙටි කාලයක් තුලදී අධි පීඩනයකට(4‍‍MPa) ලක් කිරීමෙන් වායු පරිමාවේ උෂ්ණත්වය 550 °C ට විතර ගේනවා(හුලන් පොම්පයකින් බයිසිකලයකට හුලන් ගහද්දි පොම්පයේ පහල රත් වෙන්නෙත් මෙන්න මේ තියරිය නිසා තමයි). මේ වෙලාවෙ ඩීසල්, සිලින්ඩරය තුලට විදිනවා. එතකොටම ඒ අධික උෂ්ණත්වය යටතේ ඩීසල් දහනය වෙනවා. ඩීසල් සිලින්ඩරය තුලට විදින්න සාමන්‍යයෙන් යොදාගත්නෙ යාන්ත්‍රික පොම්පයක්. මේ පොම්පයෙන් වෙන වෙනම ඉන්ධන නල එක් එක් සිලින්ඩරය වෙත යැවෙනවා. මේ නල සිලින්ඩර වෙත සම්බන්ධ වෙන්නෙ විදිනයකින්(Injector එකකින්). මේ Injectors එක් පීඩන අගයකදි(පොම්පයෙන් ඇතිකරන) විවෘත වෙලා ඩීසල් සිලින්ඩරය තුලට විදිනවා. මේ ඩීසල් විදින පද්ධති(Injection systems) පසුගිය කාලය පුරාවට එක එක විදිහට අලුත් වුනා. මේවයින් දැනට භාවිතා කරන අලුත්ම ක්‍රමය තමයි common rail direct injection ක්‍රමය.

මේ ක්‍රමය මුලින්ම හොයාගත්තෙ 1960 ගනන්වල Robert Huber
කියන ස්විට්සර්ලන්ත ජාතිකයා විසින්. නමුත් සාර්ථකව මෙය රථවාහන නිශ්පාදනය සඳහා යොදාගත්තේ 1995 දී ජපානයේදි, Hino Rising Ranger කියන truck එකට. මේ සඳහා යොදා ගත්තෙ Denso corporation එකේ වැඩ කරපු Dr. Shohei Itoh සහ Masahiko Miyaki කියන ඉන්ජිනේරුවො වැඩිදියුනු කරපු ECD-U2 common-rail system එක.


Hino Rising Ranger

Common rail system එකෙත් දැනට generation තුනක් ඇවිල්ල තිබුනත් ඔක්කොම වැඩ කරන්නෙ එකම තියරියට. දැන් බලමු මේ ක්‍රමය අනිත් ඒවගෙන් වෙනස් වෙන්නෙ කොහොමද කියලා.

මේ ක්‍රමයෙදි Disel Injectors වලට යන ඉන්ධන නල(fuel lines) සම්බන්ධ වෙලා තියෙන්නෙ තනි නලයකට. ඒ කියන්නෙ ඔක්කොම Injectors වලට Diesel දෙන්නෙ තනි නලයකින්. Common rail එක කියන්නෙ ඒ නලයට(රූපය බලන්න).


Common Rail Direct Injection System
  
මේ common rail එක තුල තියෙන Diesel, අධි පීඩන පොම්පයක් භාවිතයෙන් අධි පීඩනයට ලක් කරල තියෙනවා(200MPa). එන්ජිම ක්‍රියාත්මක වෙනකොට, යාන්ත්‍රික හෝ විද්‍යුත් ක්‍රමයකින් හරි වෙලාවටම(correct timing) Injectors ඇරීම හා වැසීම සිදුවෙනවා. Injector එක විවෘතව පවතින කාලය අනුව සිලින්ඩරය තුලට යන Diesel ප්‍රමානය රඳා පවතිනවා. මේ Injector එකකින් විදින Diesel පාර අතකට වැදුනොත්, අත හිල්වී යන තරමට එය ප්‍රබලයි.

High Pressure Pump

මුල් කාලයේදි Injectors ඇරීමට හා වැසීමට යාන්ත්‍රික ක්‍රම භාවිතා කලත් තාක්ෂණයේ දියුනුවත් සමඟ මේ සියල්ලම ඉලෙක්ට්‍රොනික් ක්‍රමයට පාලනය වීමට සැකසුවා.

Common Rail Diesel Injector

නවීන common rail පද්ධති සම්පූර්ණයෙන්ම පාලනය වෙන්නෙ ECU(Electronic control unit) එකකින්. Radiator coolant උෂ්ණත්වය, වාතයේ උෂ්ණත්වය, ඉන්ධන වල උෂ්ණත්වය, ත්වරකයේ(accelerator) පිහිටීම, එන්ජිම කරකැවෙන වේගය, common rail එක තුල පීඩනය, ආදිය පිළිබඳ තොරතුරු සංවේදක(sensors) මගින් ECU එකට ලබාදෙනවා. ඉන්පසු ECU එක මගින් අදාල තත්වයන්ට අනුකූලව Injectors වලට වෝල්ටීයතා ස්පන්ධ ලබාදී ඒවා ඇරීම වැසීම පාලනය කරනවා. උදාහරනයක් ලෙස, එන්ජිම සිසිල්ව ඇති විට එය පණ ගැන්වීමට අවශ්‍ය විශේෂ තත්වයන් ECU එක මගින් ලබාදෙනවා. තවද ECU එකට සම්බන්ධව ඇති pressure regulating valve එක මගින් common rail එක තුල පීඩනයද අවශ්‍ය තත්වයන්ට අනුකූලව පාලනය කරනු ලබනවා. 

A-Primary Filter
B-Final Filter
C-Diagnostic Port
D-Transfer Pump
E-High Press. Pump
F-Overflow Valve
G-Common Rail
H-Relief Valve
I-Fuel Return Line
J-Electronic Injector
L-Flow Limiter
M-Control Valves
N-Check Valves
O-Hand Primer Pump
P-Transfer Pump-Out
Q-Transfer Pump-In

Toyota 1KD-FTV 3.0L Engine(Hilux, Hiace, Land Cruiser Prado, Fortuner)

මේ ක්‍රමයේදි වෝල්ටීයතා ස්පන්ධ වලින් පාලනය වන Injectors(විදින) වර්ග දෙකක් යොදාගන්නවා. ඒ Solenoid Injectors සහ Piezoelectric Injectors කියන වර්ග දෙක. නවීනතම තෙවන පරම්පරාවේ common rail පද්ධති වල Piezoelectric Injectors භාවිතා කරනවා. Piezo ස්ෆටික තෙරපුමකට ලක් කිරීම මගින් විද්‍යුත් වෝල්ටීයතාවක් ජනනය කරගන්න පුලුවන්. ඒකෙ විරුද්ධ ක්‍රියාව එනම් වෝල්ටීයතාවක් ලබාදීමෙන් Piezo ස්ෆටිකයේ දිග වැඩි වීමෙන් යෙදෙන කුඩා බලය හයිඩ්‍රොලික් ක්‍රියාවලියකින් විශාල කර විදිනයේ(Injector) ඇරීම වැසීම පාලනය කරනවා. මේ Piezoelectric Injectors, කලින් යොදාගත් Solenoid Injectors වලට වඩා වේගවත්, ඒවගේම වැඩි පීඩයකට ඔරොත්තු දීමේ හැකියාවක් පවතිනවා. ඒවාගේ වේගය කොච්චරද කිව්වොත් 3-5මිලිතත්පර ප්‍රමාණයක් ඇතුලත වෝල්ටීයතා ස්පන්ධ 10ක් පමණ ලබාදිය හැකියි. 

Solenoid Injector

Piezoelectric Injector

මේ නවීනතම ක්‍රමය නිසා Diesel එන්ජින් වල කාර්යක්ෂමතාවය විශාල ලෙස වැඩිවුනා. අඩු එන්ජින් ධාරිතාවයකින් වැඩි බලයක් නිපදවා ගන්න පුලුවන්. මේ එන්ජින් වල ඉන්ධන දහනය ඉතා නිවැරදිව සිදුවෙනවා. අධි පීඩනයක් යටතේ Diesel සිලින්ඩරය තුලට විදින නිසා, වාතයත් සම්ඟ හොදින් diesel මිශ්‍ර වී කාර්යක්ෂම ඉන්ධන දහනයක් සිදුවෙනවා. එවිට පරිසරයට විශ වායු පිටවීමද අවම වෙනවා. තවද මෙම එන්ජින් වල ශබ්දයද කලින් ඩීසල් එන්ජින් වලට වඩා අඩුයි. එන්ජිම සිසිල් විට පණගැන්වීමට heat කිරීම අත්‍යවශ්‍ය නොවේ.
තවද මෙම ඉන්ජින්වලට යෙදිය යුත්තේ සල්ෆර් ප්‍රමාණය අඩු Diesel(Super Diesel) වේ. එයට හේතුව සාමාන්‍ය Diesel මගින් මේ විදුලියෙන් පාලනය වෙන Injectors වල ආයුකාලය අඩුකරනු ලැබීමයි.


පරණ ඩීසල් එන්ජිමක කාර්යක්ෂමතාවත්, අලුත්ම ඩීසල් එජිමක කාර්යක්ෂමතාවත් අතර වෙනස මේ උදාහරණයෙන් හොදට පැහැදිලි කරගන්න පුලුවන්.

Mitsubishi 4D56 එන්ජින් එක ගැන අහල ඇති. ධාරිතාවය 2476cc වෙනවා. ඩෙලිකා වෑන් වල, Pajero වල, L200 කැබ් වල මේ එන්ජින් එක ආවා. 1986 විතර තමයි මුලින්ම නිශ්පාධනය කරේ. ඒත් තවමත් ඒ එන්ජින් එක(4D56) තියල වාහන එනවා. දැන් එන්නෙ ඒ එන්ජින් එකම common rail කරල. Fuel ejection system එක විතරයි වෙනස්. ඒත් පරණ 4D56 එන්ජිමක ජවය 74hp වෙද්දි, අලුත්ම 4D56 3rd Generation DI-D with variable geometry turbo engine එකක ජවය 175hp වෙනවා.
කොහොමද වෙනස.

දැනට Bosch, Delphi, Denso, Siemens VDO යන සමාගම් විසින් common rail පද්ධති නිශ්පාධනය කරනවා.




--------------------------------------------------------------------------------------------------------

ලිපිය ගැන ඔබේ අදහස් වටිනවා....